COLLAPSISM - 2019 - SRI LANKA

                            2019

   COLLAPSISM

🔹 කඩාවැටීම් වාදය  

දශක ගණනාවක සිට ශ්‍රී ලාංකීය    දේශපාලනය හා සමාජ ආර්ථීක ක්‍රමය විවිධ අර්බුද හා ගැටඵ ගණනාවක් සහිතව ඉදිරියට ගලා යයි.

 තිස් වසරක යුද්ධයෙන් පසු විශාල ගුවන් තොටුපොළවල්, අධිවේගී මාර්ග, නෙළුම් කුඵණු, නෙළුම් පොකුණුවැනි දැවැන්ත ඉදිකිරීම් හා විශාල නගර අලංකරන ඉදිවුවත් ලාංකීය ජනතාවට ඒවා අරුම පුදුම නිර්මාණ නොවන්නේ ජනතාව ගේ ප්‍රධාන ගැටළු ඒ තුළින් විසදී නැති බැවිනි. 



එනම් ජීවන බර, සෞඛ්‍ය ගැටළු, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පැන නගින ගැටළු වලට අමතරව ස්ත්‍රී දූෂණ, මිනීමැරීම්, ළමා අපචාර, විශාල ප්‍රමාණයේ මූල්‍යමය වංචා මත්ද්‍රව්‍ය භාවිතය හා ඛෙදා හැරීම සීඝ්‍රයෙන් ලාංකීය භුමිය තුළ වර්ධනය වී ඇත. තවද සියදිවි නසා ගැනීම් සහ විශාල බුද්ධි ගලනයක් මේ වන විටත් සිදුවෙමින් පවතී. මෙවැනි සමාජ ක්‍රමයක් යටතේ ලාංකීය ජනතාව දශක හය හතක් තුළ පදනම් විරහිතවූ සමාජ ක්‍රමයක ඉපදෙමින්, දුක්විදිමින්, මැරෙමින් සිටී. 





මේ තත්ත්වය යටතේ වුවද ජනතාව අවුරුදු උත්සව පවත්වයි. පන්සල් පල්ලි යයි. හතර පෝයට සිල් ගනී. දෙවියන් යදියි. බුදුන් සරණ යයි. නමුත් නැවතත් ජීවන බර වැඩි වූ කල ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යයි. අරගල කරයි. කැරලි ගසයි. ආණ්ඩු වෙනස් කරයි. එවිට පාලකයින් සිය බලය රැක ගැනීමටත්, පවත්වාගෙන යාමටත්, අහිමි වී ගිය බලය නැවත ලබා ගැනීමටත් ජනතාවට පොරොන්දු ලබා දෙයි. ආණ්ඩු විසින් දීපු පොරොන්දු ඉටු නොකල විට ජනතාව නැවතත් පාරට බසී. උද්ඝෝෂණ කරයි. රැකියා ඉල්ලා අරගල කරයි. කැරලි ගසයි. ආණ්ඩුව සිය බලය පාවිච්චි කර කැරලි මර්ධනය කරයි. ඒ තුළින් වටිනා ජීවිත රටට අහිමි වී ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. 






යළිත් ජනතාව නව ආණ්ඩු පත් කරයි. මෙම ක්‍රමයට දැනට දශක හතකට ආසන්න කාලයක් පුරාවටම ජනතාවට මුහුණ දීමට සිදු වී තිබේ. නමුත් මෙම ක්‍රමය වෙනස් වී නැත. මෙසේ පදනම් විරහිත වූ ක්‍රම වියුහයක් තුළ ජනතාවට අවුරුදු ගණනාවක් එසේ ජීවත් වීමට හුරුපුරුදු කරවා ඇත. ඉතා දීන කීකරු ජනතාවක් බිහි වී තිබීම මෙම ක්‍රමය නොකඩවා අවුරුදු ගණනාවක් තිස්සේ ගලා ඒ මට එක් හේතුවකි.

වර්තමානය වන විට පාලකයින් විසින් ඉහත සදහන් කරන ලද සමාජ හා දේශපාලනික අර්බුද ඉදිරියට පවත්වා ගෙන යාමටත්, එය නඩත්තු කිරීමටත්, එම සමාජ අර්බුද තුළින් ජීවත් වන හා පෝෂණය ලබන මිනිසුන් පිරිසක් බිහි කර තිබීමත් මෙම ඛේදජනක ක්‍රම ව්‍යූහය දශක හය හතක් පුරාවටම පැවත ඒම අරුමයක් නොවේ. 

මෙවැනි පදනම් විරහිත සාමජ ක්‍රමයක් තුළින් ලාංකීය දෘශ්‍යකලා ක‍ෂේත්‍රයටද බලපෑම් එල්ල වී ඇත. කලා කරුවාට ද මෙම පවතින සමාජ ක්‍රමයේ අවිනිශ්චිත භාවය තුළ ඔහුට කලාව කලාවක් ලෙස ඉදිරියට කරගෙන යා නොහැකි තත්වයකට පත් වී තිබේ. කලාකරුවාගේ නිදහස් චින්තනයට මේ තුළින් බාධා පැමිණ ඇත. කලාකරුවාට සමාජයේ සිදුවන ඛේදජනක සිදුවීම් වලින් බැහැරව නිදහසේ සිය චින්තන තත්වයන්හී සිටිමින් කලාවේ නිරත වීම අපහසු යුගයක් උදා වී ඇත. එබැවින් ලාංකීය දෘෂ්‍ය   කලාව තුළ දෘෂ්‍ය කලාවට අයත් ඉහළ පැතිමානයන් පිළිබිඹුවීම ඉතා විරල වශයෙන් සිදු වී තිබේ. එය එසේ සිදුවී ඇත්තේ දශක ගණනාවක් පුරා කලාකාරුවාට ඉහත සදහන් කල සමාජ ආර්ථීක හා දේශපාලන අර්බුද හා ගැටළුකාරී තත්වයන් තුල ඉදිමින් කලාවෙහි නිරතවීමට සිදුවීමයි. එය මව් කලා කරුවාගේ නිදහස් චින්තනයට බාධා පැමිණ තිබේ.

 නිදහස් චින්තනයක් අහිමි කලාකරුවාට හා ඔහුගේ අධ්‍යාත්මිකත්වයට ඉවසා ගත නොහැකි, දරාගත නොහැකි ඛේදවාචකයන්ට ලක් වීමට සිදුවී ඇත. මෙවැනි ක්‍රමයක් තුළ දෘශ්‍ය කලා ලෝකයෙහි සැබෑ වීරයන් මිය ගිහින් ව්‍යාජ වීරයන් කලාවේ බලයත් කලාවේ නිර්මල භාවයත් සිය අනසකට නතු කර ගෙන තිබේ. එබැවින් කලාවේ මව් කලාකරුවාට නොයෙකුත්  බාධා වන්ට මුහුණ දීමට සිදුවී තිබේ.

        Mother Artist - මව් කලාකරුවා

                                Oil on canvas 

 ඒ බැවින් කලාව තුල ඇති ව්‍යාජ අණුකෘතින් වලට බොරු  ජීවයක් වානිජකරණය තුළින් ලබා දී තිබේ. මෙම සිදුවීමනිසා ඇතැම් කලාකරුවන්ට ඔවුන්ගෙන් සමාජයට හා කලාවට ඉටු විය යුතු වගකීම් කුමක්ද යන්නත් කලාව නිවැරදි ලෙස භාවිතා කරන ආකාරයත් කලාව යනු කුමක්ද යන්නත් අමතක වී ගොස් ඇත්තේ ඔවුන් මෙම ධනේෂ්වර ක්‍රමය තුළ වානිජකරණයට ලක් වී ඇති බැවිනි. විශේෂයෙන් වර්තමාන ශ්‍රී ලාංකීය දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය පසුගාමී ධනේෂ්වර වෙළඳ  ආර්ථීක ක්‍රමයක් යටතේ කලාව වෙළඳ භාණ්ඩයක් ලෙස භාවිත කිරීම හේතුවෙන් සම්භාව්‍ය කලා කෘති බිහිවීමේ ප්‍රවණතාවය පහව ගොස් නරඹන්නන්ගේ සේවා අවශ්‍යතාවයන් ඉටු කරන මාධ්‍යයක් ලෙස කලාව පත් කර ඇත. එබැවින් නරඹන්නන්ට සේවය කරන කලාව තුළින් විප්ලවීය කලාවක් බිහි නොවේ. මෙය දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය තුළ ඇති වී ඇති දැවැන්ත කඩා වැටීමකි. 

ලාංකීය දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය තුල සිදු වන මෙම කඩා වැටීම ක්‍රමයක් හැටියටත් එම ක්‍රම ව්‍යුහය දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු වී ඇති ආකාරයත් ඒ සදහා සමාජ හා දේශපාලනික වශයෙන් ඉහත කී කරුණු මව් කලාකරුවාට හා කලාවට බලපා ඇති අයුරුත් "ක‍ඩාවැටීම් වාදය" බිහිවීමට මූලික හේතුවයි. මෙය අනූවේ දශකයෙන් පසු  වර්ෂ 2019 දී ලාංකීය භූමිය තුළ බිහිවූ ප්‍රථම කලා ප්‍රවනතාවයයි.



                සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

තවද සාම්ප්‍රදායිකව පැවත ආ දෘෂ්‍ය රූපයන් තුල පවතින සන්දර්භයන් තවදුරටත් කලාව තුල වලංගුවීමට ඇති ඉඩ කඩ නැති වීමත්,  ලාංකීය දෘශ්‍ය කලා ඇකඩමියාවන් තුළින් මව් කලාකරුවන්ට සිදු වන ඉතා අකටයුතු අසාධාරණකම් වලට එරෙහිව නැගී සිටීමට ගණනාවූ විවිධාකාර ප්‍රතිඵල හැටියට කඩා වැටීම් වාදය බිහිවීමට බලපෑ  තවත් මූලික සාධකයකි.

♦️  කඩා වැටීම් වාදය තුළින් පිළිබිඹු වන අන්තර්ගතයන් සහ නව කලාත්මක ප්‍රවණතා

◼️ යුධ සමය අවසන් වන තෙක් පැවති කාලය තුල පැවත ආ දෘෂ්‍ය රූපය හා එහි ආකෘතිය හා අන්තර්ගතය යුධ සමයෙන් පසු බිහිවන නව සංක්‍රාන්තික කාලය තුල තව දුරටත් නඩත්තු කිරීමට නොහැකි වීමත් කඩා වැටීම් වාදය බිහිවීමට බලපෑ තවත් ප්‍රධාන කරුණකි.

◼️  මානව සමාජය තුල පවතින මතුපිටින් පෙනෙන යථාර්ථයට වඩා ඉන් එහා ගිය ඒ තුළින් නොපෙනෙන ඇතුලාන්තයක් හාරා අවුස්සා පවතින යථාර්ථයට අභියෝගකරන දෘෂ්‍ය රූපයන් සමාජය ඉදිරියේ ගෙනහැර දැක්වීම, කඩාවැටීම් වාදයේ ප්‍රධාන අරමුණයි. 

◼️  යථාර්තය යථාර්තය තුළම ප්‍රශ්නයක් බවට පත් කිරීම, වේගවත් බව, සරල බව, හෙළාදැකීම, එදිරි වීම, බිද වැටීම්, අපේක‍්ෂා භංගත්වයන්, සම්මතයට විරුද්ධ වීම හා ක්‍රම විරෝධය, නව ආකෘතීන් හා අන්තර්ගතය තුලින් මිනිස් ඇස ඉදිරියේ විදහා දැක්වීම මෙහි තවත් ප්‍රවණතාවයකි.

◼️ ස්වාභාවික යථාර්තවාදී කලා ලක‍ෂණත්, අධි තාත්වික හා මායා යථාර්තවාදී කලා ලක‍ෂණත් සහ විශේෂයෙන් ඝණිකවාදී කලා ප්‍රවනතාත් ආභාෂය කර ගනිමින් නව භාවරූපික හැඩ එකතු කරමින් කඩා වැටීම් වාදය ශ්‍රී ලාංකීය සමකාලීන දෘස්‍ය කලා ක්ෂේත්‍රයෙහි තවදුරටත් ස්ථාන ගත වෙයි. මෙම කලා ප්‍රවනතාවය ලාංකීය දෘෂ්‍ය කලා ක්ෂේත්‍රයේ හැරවුම් ලක‍ෂයයි.

◼️ මව් කලාකරුවා සහ සමාජය අතර පවතින අධ්‍යාත්මිකත්වය සහ සානුකම්පිතභාවයේ ස්ථීර සාර වූ ගැඹුර තුලින් මතුවන දයලිත්තික සම්බන්ධතාවය ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් බවට පත් කිරීම සහ ඒ තුළින් ප්‍රෙක්ෂකයාව නව චින්තනයක් කරා යොමු කිරීම මෙහි තවත් ප්‍රධානතම කරුණකි.

◼️ කඩා වැටීම් වාදය අන්තර්ගත වනුයේ නව දෘෂ්‍ය ශිල්ප ක්‍රමයන්ගෙන් සහ නව විචාර සංකල්ප ධාරාවන්ගෙනි.  ශාස්ත්‍රාලීය සංරචන ගුණාංග විතැන් කර කඩා බිද දමා එය අභිබවා ගොස් නව සංරචන ව්‍යුහයන් කඩාවැටීම් වාදය තුළ ඒකරාශී වී ඇත. එබැවින් මේ තාක්දුරට විවිධ අභ්‍යාස තුළින් හැදෑරීම්වලට භාජනය කරන ලද නිර්මාණ අභ්‍යාස කරනය සහ දෘෂ්‍ය ප්‍රකාෂණ අභිබවා ඉදිරියට ගමන් කිරීම මෙහි ඇති තවත් එක් පියවරකි.

◼️ එසේම කිසියම් ශිල්පියෙකුට හස්ත කෞෂල්‍ය තුළින් සිය නිර්මාණ කරනුයේ යෙදීමට තිබෙන හැකියාව හා බලය පමණක් තිබූ පමණින් කඩා වැටීම් වාදයෙහි   කොටස් කරුවෙකු වීමට නොහැක.  ඒ සදහා ඔහුට කලා කෘතියක අඩංගු වී තිබිය යුතු කලාත්මක සන්ධර්භයන් පිළිබදව මනා ඥාන ශක්තියක් තිබිය යුතු අතර ඒවා නිවැරදි ලෙස කාලය හා අවකාෂය මත ස්ථානගත කිරීමට ද, නව නූතන කලා ප්‍රවනතා සහ නව ඵෙතිහාසිකත්වයන් හදුනාගැනීමේ හැකියාව තිබිය යුතුවේ.

◼️ සමකාලීන සමාජ දේශපාලනික ආර්ථීක හා සංස්කෘතික වශයෙන් පැන නගින කරුණු සිය කලා කෘති සදහා භාවිතා කරන ආකාරයත් කලාකරුවා විසින් ලබාගෙන තිබෙන අනුගත නොවූ ශාස්ත්‍රාලීය දැනුම් සම්භාරයත් කඩාවැටීම් වාදය ගොඩනැගීම සදහා ඉවහල් වේ. 

◼️ කඩාවැටීම් වාදය තුළ කිසියම් දාර්ශණික ක්‍රම ව්‍යුහයන් සහ නව ඉතිහාස වාදයන් අඩංගු වී ඇත. විශේෂයෙන්ම පශ්චාත් මාක්ස්වාදී දාර්ශනික කථිකාවන් සහ දයෙලිත්තික භෞතිකවාදී  දාර්ශනික හර පද්ධතියේ කරුණු පිළිබිඹුවේ.එබැවින් ලාංකීය පොළොව මත වර්තමාන කියවීම සහ නැගී සිටීම කඩා වැටීම් වාදය විසින් අත්පත් කර ගනී. එහි බලය අනෙකුත් කලා ප්‍රවනතා තුලට දැඩි බලපෑමක් ඇති කරයි. අනෙකුත් කලා පවනතා අභිබවා ඉදිරියට ගමන් කරයි. මෙයට අයත් සෑම කලා කෘතියකටම මනා ලෙස ගොඩනැගුණු න්‍යායාත්මක පදනමක් සහ නව ජීවයක් තිබීම ඊට එක් හේතුවකි.



දෘශ්‍ය කලා ශිල්පී 

විනිත් චතුරංග 

https://collapsism.com

https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://collapsism.com/&ved=2ahUKEwiNxL6vk9SQAxWSa_UHHRhFNAoQFnoECCMQAQ&usg=AOvVaw251uF5OgyA4VnjQ5nQ6Zyw



 

Comments

Popular posts from this blog

COLLAPSING LION FLAG